Thursday, 2 May 2024

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව

අබලන්ව බිඳවැටුණු

පියාපත් මැලියමින් අලවන්න

පැලැස්තර දමාගෙන

යළි වරක් පියාඹමු

අපේක්ෂාභංගත්ව දුරැලන්න


⁣නැතක් සෝ තැවුල් බර

සුසුමකින් ඉවතලා

⁣එල්පිස්ගෙ මල් පොකුර සිපගන්න

ජීවයේ මල් පෙත්ත

නොගිලිහී රැඳෙන්නට

හඬ අරන් ඈ සමඟ සිටගන්න


නිවි නිවී යළි දිලෙන

තාරකා පොදිවලට

අත වනා නෙත් කඳුලු පිසලන්න

ඔබට මම, මට ඔබද

අත් නොහැර රැඳේනම්

දිරි අරන් පය පෙරට ගෙනියන්න


පිපෙන මල් ඵල දරන

හෙට දිනට එළි ගෙනෙන

ගිනි පුපුරු ළය පත්ලෙ දල්වන්න

උදාවන වසන්තෙට

වෙර ගෙනෙන පදවැලක්

මා සමඟ තෙලි තුඩක අමුණන්න


#එල්පිස්ගෙමල්පොකුර

#යූටර්පි

2024.03.14 @9.08pm



සමනලුනි,

 නේක පැහැ දළපත්‍ර - මල්වලින් උගුල්ලා

පොළෝ තල මත අතුරලා


සිනහ සී පෙති මතට - පා තබා පොඩි කරති

දුක් කදුළු එහි සඟවලා


සමනලුන් තටු විදා - ඉඟිලෙතැයි බය නිසා

නව යුගයකට මඟ කියා


කෝෂයෙන් එන්න පෙර - දළඹුවන් මරනවා

කාකයට රජකම තියා


වැටෙන පියවර ගානෙ - යළි නැඟී වෙර ගනිව්

විලෝපික ඇස් මඟැර දා


හීන පියගැට පෙළේ - මුල් පඩිය හරි උසයි

⁣අත් නොහරිනූ කිසිම දා


තැලී පොඩි වී මැරුණු - දළඹුවන් ගැන කතා

නොකියාවි එයින් පසු දා


දුක් ගැහැට මැද වුවද - ඉගිල්ලුනු සමනලුනි

ලොව රැකෙන්නේ නුඹ නිසා


#යූටර්පි

26th October 2023 @7.13pm



කණමැදිරි එළි

පුරාහඳ එළි නොදුටු අමාවක දවසේ

කඳෝපැණි එළියකින් සැනහුනෙමි රහසේ

රැඳීමට නොහැකි තැන ළය මඬල පහසේ

ප්‍රේමයේ කවි ලියමි රෑ සිහින අහසේ


ආයාසයෙන් නිදන නෙතු පියන් අතරේ

ඇහි පිල්ලමට යටින් නුඹෙ රුව ම වැතිරේ

ඒ හීනයෙන් හෙලූ වැසි දියට කතරේ

සුන්දර ම පතොක් මල් නුඹෙ නමට ඇහැරේ


සීත වැසි ඇදහැලෙන කළුවර ම රෑක

දිලෙන පුළිගුවකි නුඹ ළය මඬල කොනක

උණුහුමට දැවටෙන්න නුඹ නොමැති විටක

මිදුණු ළය පිරිමදිමි දස දහස් වරක


#යූටර්පි

2023.08.25 @7.15pm



රාත්‍රිය මනරම්

 රාත්‍රිය මනරම් ය කවදත්

ඒත් නුඹ ළඟ නැති නිසා

ගුවනතේ මම දෙනෙත් ගෙනයමි

සඳට තරුවට අමතලා


ඝනට පැතිරුණු මේකුළක් උඩ

දිලෙන තරුමල් සැඟවිලා

හෙට ය පසලොස්වක ඒත් අද

තාරකාපති මියැදිලා


මුළු අහස් කුස අරක්ගෙන හුන්

වලාකුළු තල කොඳුරලා

කෙසේ හෝ නොහඬා ම දරනෙමි

කියා තව බර තර කළා


මේඝයෙන් හෙළු සුෂිර සුසුමක

මුසුව යන්නට සලසලා

නුඹ ම සොයනා මගේ සුසුමක්

මමත් එයට ම මුසු කළා


#යූටර්පි 

2023. 07. 31 @10.40pm



ගිනි පුපුරු

බොහෝ ආයාසයෙන්

අග්නි දළු නිවාලුව

ගිනි පුපුර සඟවලා 

නොපෙනෙනා තැනින්


ඒ පුළිඟු නිවන්නට

ශීත කඳු සෙවූයෙමි

⁣නමුත් ඒ ගිනි පුපුර

නිවුණෙ නෑ එයින්


යළි දැවෙන්නට බියෙන්

ඈතටම ඉඟිලුණෙමි

ආවරක හිම තුහින

දිය නොවනු රිසින්


හිම තුහින රැඳෙනුයේ

ආවරක පමණක ය

මතකයෙන් ගිලිහුණේ

අන්න ඒ සැණින්


ගිනි පුපුරු තවමත් 

එලෙසම ය! එතැනම ය!

එකම එක තත්පරෙන් 

ඇවිලුනා ඉතින්


#යූටර්පි 

10/07/2023




එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...